අඹ යහළුවෝ - ටී.බී. ඉලංගරත්න සූරීන්ගේ නවකතා සමූහය අතරින් ‘‘අඹ යහළුවෝ’’ ලබාගෙන ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. මෙය පාඨකයන් විසින් ඉමහත් ආදරයෙන් වැළදගත් කෘතියකි.
සුනිල් ගෙදර යන විට පහළ පඩිය ළග කමතේ කොළ මඩවනු බලමින් අම්මා එහි සිටියා ය.
සුනිල් දුටු ඒ පඩි බැම්මෙන් නැගිට සුනිල්ගේ අත අල්ලා ගෙන පඩි පෙළ නැග ගියා ය.
“ඔන්න පුතාගේ ඇඳුම් අද ගෙනවා.”
සුනිල් නිශ්ශබ්ද වුයේ ය.
“මොකද උඹ කතා නො කරන්නේ? ඇඳුම් ගෙනාවට තරහ ද?”
“නෑ”
“එහෙනං?’
“අම්මා, ඇයි මට ඔය හැටි ඇඳුම් හම්බ වෙන්නේ?”
“ඉස්සර ජාතියේ උඹ රෙදි දන් දීලා තියෙනවා. ඒක නෙවැ.”
“කාට ද?”
“හාමුදුරුවන්ට, රෙදි නැති අයට”
“මේ ජාතියේ දන් දුන්නොත් මොකද වෙන්නේ?”
“අනික් ජාතියේ ඇඳුම් ලැබෙයි.”
“මේ ජාතියේ නුදුන්නොත්?”
“අනික් ජාතියේ එතකොට ලැබෙන එකක් නෑ.” කියමින් අම්මා ගෙට ගොඩ වූවා ය.
දෙදෙන ගොස් ඇඳුම් මිටිය ලිහා බැලූවෝ ය. සුනිල් ඒ මේ අත හරවමින් බැලූවේය.
“අම්මා.”
“මොකද පුතා?”
“මෙයින් එකක් මං දන් දෙන්නං?” කියමින් අලූත් ඇඳුම් කට්ටලයක් අතට ගත්තේ ය.
“කාට ද?”
“ඇඳුම් නැති ළමයකුට”
“ඔය බොරු නැතුව නිකං ඉන්ට. කෝ බලන්ට අඳින්න සූට් එකක්.”
සුනිල් සිතිවිල්ලේ ඇඳ ගත්තේය. ඇඳුම් හරි ගණනට මසා තිබිණි.
“අනේ, අම්මා. මේ හයෙන් එක සූට් එකක් මං දෙන්නං ළමයකුට?”
“කවුද ඔය ළමයා?”
“අම්මා අඳුනන්නේ නෑ. එයාට ඇඳුම් නෑ. බාග විට ඒ හින්දා තෑගි උත්සවයට එන එකකුත් නෑ.‘’
“අප්පච්චිගෙන් අහලා කැමති නං දීපන්”
“අනේ, අම්මා, මට අහන්ට බෑ. අම්මා අහල මට කියන්ට.”
“බත් කාපන්කෝ.”
සුනිල් කෑම කන ගමන නැවත නැවතත් අම්මාට තමාගේ ඉල්ලීම ගැන ඇවිටිලි කළේ ය.
“හා, හා, හා” අන්තිමේදී කන්දොස්කිරියාවෙන් බේරෙන්නට දෝ අම්මා කීවා ය.
“එහෙනං එකක් දෙන්නං?”
“හොඳයි කීවා නොවැ”
“අප්පච්චි බැන්නොත්?”
“එක මං බලා ගන්නං කීවා නෙවැ”
“හොඳ අම්මා, හොඳ අම්මා” කියමින් සුනිල් පුටුව උඩට නැග, ඉඳුල් අත ඉවතට කර,
වමතින් අම්මාගේ බෙල්ල බදාගෙන මුහුණ සිම්බෙය.
“ඔය, මගේ මූණෙත් එකක් ඉඳුල්!” කියමින් අම්මා බොරුවට ඔසරි පටින් මුහුණ පිස දා ගත්තා ය.
Author | T. B. Ilangaratne (ටී. බී. ඉලංගරත්න) |
Language | Sinhala |
Pages* | 190 |
There are no reviews yet