නුවරකලාවියේ ගම ගැන මගේ ඇහෙන් විතරක් නොවෙයි, තවත් නොයෙක් විද්වතුන්ගේ ඇස්වලින් දැකපු දේවල් ද මං සංසන්දනාත්මකව ලියා තියෙන හින්දා මේ පොත මානව වංශය ගැන අධ්‍යයනය කරන අයටත් ඉතා වැදගත් වෙයි කියලා හිතනවා. විසි වැනි ශතවර්ෂයේ මැද භාගයේ නුවරකලාවියේ කැලෑ ගම්මානයක ජීවිතය අරභයා ලියා තියෙන මේ විස්තර, මං අහපු, දැකපු, ජීවත් උනු ජීවිතයේ නින්නාදයෙන් ටිකක් ය. ඒවා නැවත කියන කොට මට අපේ ගම ගැන ඇති උන පහන් හිතිවිලි, මේ පොත කියෙව්වාම ඔබට ඔබේ ගම ගැනත් ඇති වෙයි කියන එක ගැන මට කිසි සාංකාවක් නෑ. ඒකට හේතුව ඔක්කොම හදවතින් ළමයි හින්දා නැවත අපේ ළමා කාලෙට ගිහිං අපි කරපු දේවල් ස්මරණය කරන්ඩ, අහන්ඩ හෝ ඒ තුළ ජීවත් වෙන්ඩ තියෙනවා නං ඒ වාගේ ලස්සන දෙයක් තවත් නැති හින්දා. කාලයාගේ මීදුමෙන් සමහර සිද්ධි මගේ මතකෙන් වැහිලා ගිහිං තිබුණත්, මේ පරිසරය මට හොඳට පුරුදුයි. හොඳට මතකයි. ඒක පුදුම වෙන්ඩ කාරණයක් නොවෙයි. අපේ ගමේ පැරැන්නෝ කියන්නේ ගෙයින් එළියට විසි කරන ගේ ගෙම්බෙක් බිමට වැටෙන්නේ ගෙදර දොරකඩ දිහා බලාගෙන කියලා.
Author | Sunethra Rajakarunanayaka |
Language | Sinhala |